Wednesday, May 23, 2018

ගුණාත්මක මෙගා ටෙලියක් නිෂ්පාදනය කිරීම


අමුද්‍රව්‍ය -
- වෛවර්ණ සාරී 10ක්
- කාමර පහලොවක් සහ මැද මිදුලක් සහිත නිවසක්
- නපුරු පෙනුමින් යුතු ආච්චිලා දෙන්නෙක්
- විවිධාකාර මුහුණින් යුතු කාන්තාවන් 6 දෙනෙක්
- නිවටයෙක්
- චන්ඩි දෙන්නෙක්
- සීයලා හතර දෙනෙක්.
- වයසට නොයන පොඩි උන් දෙන්නෙක්
- නයෙක් සහ සිංදු කියන හරකෙක් හෝ නැට්ට දිග රිලවෙක්
මීට අමතරව පූජා වට්ටි පහක් දේව පිංතූර හතරක් සහ කපුරු, දුම්මල , ගිනි කබල්, පලතුරු, මල්මාලා අවශ්‍ය පමණට ගත යුතුය.
උපකරණ ලෙස කැමරා තුනක්, ටියුබ් ලයිට් පහක් සහ ලයිට් අල්ලන්න කොල්ලො හතරක් ද, භයානක සංගීත ඛණ්ඩ කීපයක් ද , තිර රචනය සදහා හාෆ්ශීට් බණ්ඩල පහක් ද සපයා ගන්න.
ඩිරෙක්ටර් වරයෙක් සහ තිර රචකයා වෙනුවට අවමංගල අද්දියක්ශක වරයෙක් සහ ගාමිණි කඩේ ලියන මහත්තයා උවද ගත හැක.
රූගත කිරීම
පලමුව ආච්චිලා හට සාරි අන්දවා ( ඔලුවට සාරි පොට දැමීම අනිවාර්යවේ) අර්සස් අමාරුව තද වූ විටක ඉරියව්ව මුහුණින් මතුවන සේ දර්ශන වාර අටක් ගත යුතුය. (මුහුණ ලංව පෙනෙන සේ හතරක් සහ ඈතට හතරක් වශයෙනි )
එයට භයානක සංගීත කන්ඩයක් දමා පදමට එඩිට් කරගන්න. ඉන්පසුව පූජා වට්ටි සහ දුම්මල ගෙන පූජා විදි කීපයක් ද විවාහ මංගල අවස්තාවක් ද , ගෑණු කෙහෙවලු පටලවා ගන්න දර්ශන තුනක් සහ රණ්ඩු දෙකක් ද අවසන් වශයෙන් රිය අනතුරක් ද වශයෙන් රූප ගත කර අදාල සංගීත සංයෝජනය කිරගන්න.
දැන් ඔබ සාඩම්බර මේගා ටෙලියක අඩිතාලම දමා අවසානය ... අවශ්‍ය පමණට දෙබස් සහ
චරිත එකතු කිරීම සහ අඩු කිරීම මගින් නාට්ටිය ඇදගෙන යාම ඔබ සතුය.
~ කුෂාන් ~

පොල


"ළමායි අද සිකුරාදා ,අනික් දවසේ ඒ කියන්නෙ සදුදා අපි තීරණය කරලා තියනාවා සිගිති පොලක් පවත්වන්න. එක වසරේ සිට පහ වසර දක්වා සියලුම ළමයින් අනිවාර්යයෙන් සහභාගි වෙන්න ඕන, මේ පිලිබඳව වැඩි විස්තර තම තමංගේ පන්තිභාර ගුරුතුමන්ලා කියල දෙයි ,හොදයි දැන් යනවලා කට්ටියම පන්තිවලට පේලියට."
බාලාංශයේ හදිසි රැස්වීම ලොකු මහත්තය අවසන් කලේ එහෙම කියන ගමන්.
පොලක් කිව්වාට ඉරිදා පොලක් වගේ එකක් ඉස්කෝලෙ අහවල් එකකට තියනවද කියල හිත හිතා අපි පංතියට ආව. ටිකකින් ආව පන්තිභාර ගුරුතුමී ,
" හැමෝම තමන්ගේ වත්තේ පිටියෙන් හොයාගන්න පුලුවන් එළවළු ,පලතුරු ජාති ඒ වගේම පලා වර්ග,ඇට වර්ග, තව හොදට පිරිසිදුව හදපු අලුවා, වැලි තලප වගේ ඒවා අරන් එන්න මතක තියා ගන්න මේක ලකුනු හම්බවෙන පැවරුමක්. ඒ නිසා විශේශයෙන් අරන් එන්න ඕන"
කියලා කීවම සමහරු පොතේ ලියාගත්තා.මමයි මගේ අසල්වැසියා වගේම කලණ මිතුරා වෙච්ච අසංකත් රිලව් දෙන්නෙක් වගේ ඔලුව හොල්ල හොල්ල අහන්හිටියා මිසක් කනකට ගත්තේ නැහැ. ඉස්කෝලෙත් ඇරිලා මග දිගට ගස් ගල් වලට පොලු ගහලා වතු පාලු කරලා ගෙදරට ගොඩවෙලා බත් කන්න කියල හැදුවා විතරයි , උණ හැදිලා හිටිය මාස හතරක් වයස නංගිත් වඩාගෙන අම්මා කෑගහගෙන එලියට ආව.උණ වැඩිවෙලා වලිප්පුව එහෙමත් නැත්නම් ෆිට් එක හැදිලා නංගිට.
කිරි අම්මලගෙ ගෙදර මිදුලෙ හිටි චුටි බාප්පා ඉක්මනට දුවගෙන ,ඇවිල්ලා වතුර ජොගුවක් නංගිගෙ ඔලුවෙ ඉදන් හලලා වඩගෙන පාරට දිව්වා. අම්මයි පුන්චි අම්මයිත් ඒ පස්සේන්. නිල් කොට කලිසම පිටින් කමිසෙත් නැතුව මාත් පස්සෙන් දිව්වේ කඳුළු පෙරාගෙන. ගොඩක් වාහන නැති උනත් ආපු වාහන එකක්වත් නතරකලේ නැහැ ,ස්ලෝ කරලා ආපහු යනවා. එකපාරටම මතු වෙච්ච පලාත් සභා මොඩල් එකෙ පැජරෝ එක ක්‍රාස් ගාල නතර කලා. මට ගොඩක් වෙලාවට මැවිලා පේනවා ඒකෙ හිටි පින්වන්ත නෝනගෙයි මහත්තයගේ මූණූ. බිමට බැහැපු නෝනමහත්තය
" කලබල වෙන්න එපා අම්මා නගින්න බබත් එක්ක. අපි යමු හොස්පිටල් එකට"
අම්මත් නග්ගාගෙන පිම්මෙ කහවත්ත දිහාට වාහනේ ඉගිලුනා. තාත්තා උදේ ගියාම හවස හයට ගෙදරට එන්නෙ. ආපසු ගෙදරට දුවපු බාප්පා
"පුතේ අම්මගෙයි නංගිගෙයි රෙදි ටිකක් ගනින් කවරෙක දාලා, බේත් ටිකයි ඕඩිකොලොන් එහෙමත් දාපන්" කියල බයිසිකලෙන් ඉගිලුනා ඉස්පිරිතාලෙට.
හවස ආපු තාත්තත් ආපයින්ම ඉස්පිරිතාලෙට ගියා. දවස් තුන හතරක් අම්මට ඉස්පිරිතාලෙ ඉන්නවෙයි කියලා මහත්තය කිව්වා කියන කතාවමට ඇහුනේ දෙගොඩහරි ජාමෙ තාත්තලා ගෙදර ආපුවම. මූසල විදියට සෙනසුරාදා ගෙවුනා. ඉරිදා වරුවක් ගියාම තමයි මට මතක් උනේ පොලක් තියන කතාව.
විනඩියට මන් හිටියෙ අසංකලගේ ගෙදර කඩුල්ල ලග. ඌටත් මන් කීවට පස්සෙ මතක් උනේ.
දෙන්නත් එක්ක රබර් වත්තේ , කුඹුරු අස්සේ රිංගලා හවස් වෙනකොට අපි ගොටුකොල, මුගුණ, ගස්ලබු, පේර, අලි පේර වගේම කිරි අම්මගෙ කොටුවෙන් දඹල , මයියොක්කා , තලන බටු වගේ ජාති ගොඩක් එකතු කරලා මිටි බැදලා මල්ලකට දාල වතුර ඉහලා තිබ්බෙ පහුවදාට ගෙනියන්න.
සදුදා උදෙන්ම අපේ ලොකු බාප්පගේ කබල් පප්පා බයිසිකලේ බඩු ටික පටවල අපි පයින්ම තල්ලු කරන් ඉස්කොලෙට ආවා. බයිසිකලේ ලොක් කරල හබරල ගාලක් අස්සේ හංගලා ආවේ. අනික් ළමයි පිජාමා රෙද්දෙන් සරන් ඇදලා, මේස් බැනියම ඇදල මුදලාලිලා වගේ. කෙල්ලො රෙද්ද හැට්ට ඇදලා. තද නිල් පාටට නිල් දාපු පැල්ලන් හිටපු කමිසත් , හම්පඩ නිල් කලිසමුත් ඇදලා ස්පත්තු නොදා හිටියේ අපි දෙන්නා විතරමයි. ඒත් අපි තරම් බඩු ගොඩක් එකෙක් ලගවත් තිබුනේ නැහැ.
පොල පටන් ගත්තා , බඩු ටික පිලිවෙලට අහුරල අපි දෙන්න බලං ඉන්නවා. ගුරුවරු පෝලිමේ එනවා, අම්මලා කිහප දෙනෙකුත් හිටියා. අපිට එහහින් හිටියේ ඉස්කෝලෙම ගුරුතුමියකගෙ ගේ පුතෙක් , එතනට ආපු ටීචර්ලා සේර්ම එයාගෙ බඩු සේරම ගත්තේ තරගෙට. රුපියල් පණහක් විතර සාල්ලිත් හම්බුනා.
" පුතා අම්ම්ට කියන්ඩඕන මානෙල් ආන්ටී සේර්ම අරන් සල්ලි දුන්න කියලත් " ඒ ලමයට කිව්වා. අපි දෙන්නට උහුලගන්න බැරී තරම් සන්තෝසයි මොකද එයාගෙ පොඩි බඩු ටිකට එහෙම නම් අපේ ගොඩට රුපියක් සීයක් වත් දෙයිනේ.
අපි ලගට ආපු ගුරුතූමියක් සහ අපේ පන්තිභාර ගුරුතුමී 
" තමුසෙලා මේව හොරෙන්ද කඩන් ආවේ? "
" නෑ ටීචර් ගෙදරින් "
" ප්‍රියන්ති මේ ගොටුකොල ටික ගන්න. දඹල ටිකත් ඔයා ගන්න. මම මයියොක්කා ගන්නව මහත්තය ආසයි"
" පංකාදු පලා ටික, අලිපේර ටික ස්ටාෆ් රූම් එකෙ තියමු "
ඒ විදියට අපේ බඩු සේර්ම මලුවලට පුරෝගෙන ඉවර උනාම අපේ පපුව ඩ්ග ඩ්ග ගාල ගැහෙන්න උනා ඇයි සල්ලි දෙනවනෙ දැන්.
"අපි යමු නංගි අනික් අය ලගටත්"
අපි දිහා නොබලාගෙනම එතුමිය සහ යෙහෙලිය යන්න ගියා. මහා මූසල හිස් කමක් එක්ක කියාගන්න බැරී තරම් අසරණ කමක් එක්කම අපි දෙන්නා මූණට මූණ බලාගත්තා.
අසංක ------- උඹ මේ තුප්පහි කුහක සමාජෙ දාල ගිහින් හරියටම අවුරුදු විසි තුනක්. උඹ හරි වාසනාවන්තයි මචං. සුභ ගමන් උඹට
ප ලි.
ගෙදරට ආව අමුත්තෙක්ට දෙන්න තැඹිලි කඩන්න ගහට නැගී අසංක ගහෙන් ලිස්සල වැටිලා මිය පරලොව ගියේ 1998 දී

මතක 2


Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch
මේ මොන හරුපයක්ද කියලා බැලුවා නේද? , විහිලුවක් හෝ වැරදිලා ලියවුණු අකුරු ටිකක් නෙමෙයි. මේ උතුරු වේල්සයේ තියන ඉතා කුඩා ගම්මානයක නම. අකුරු 58 ක් තියනවා. ලෝකයේ දිගම නම් සහිත ගම්මාන වලින් එකක්. රස්තියාදුවක යන අතරේ සිග්නල් ප්‍රශ්නෙකට කෝච්චිය නතරකලා මේ ගමේ ඉස්ටේසමේ. ගිනි පිඹින්නන එලියට බැස්සම මෙන්න මේ පුවරුව එක ඇහැ ගැටුන.මේක කියවන විදිය නම් හීනෙන්වත් හිතා ගන්න බැරී උනාට ටිකක් එහාට වෙන්න පුවරුවක මේ වචන වල තේරුම ගහලා තිබ්බා.


Llan - Church Fair - Mary
Pwll - A Hollow 
Gwyn - White
Gyll - Hazel 
Goger - Near to 
Y - the
Chwyrn - Rapid
Drobwll - Whirlpool
Llan - Church 
Tysilio - Saints
Gogo - Cave
Goch - Red



දාපු මනුස්සයා මොන හිතකින් මේක මේ ගමට දැම්මාද කියන එක නම් පුදුමාකාර ප්‍රශ්නයක්. කොහොම නමුත් වේල්සය කියන්නෙ දවසින් දවස ජීවිතේට අලුත් අත්දැකීම් එකතුකරපු ලෝකෙ තියන සාමකාමීම ස්තාන වලින් එකක්.


Saturday, May 19, 2018

Titanic & Symbol of Quality ටයිටැනික් සහ සිලෝන් ටී


" ටයිටැනික් නැවෙන් ගොඩ ගන්නා ලද තවත් පුරාවස්තු විශාල ප්‍රමාණයක් දැන් ඔබේ නගරයේ කෞතුකාගාරයේ"
යනුවෙන් සටහන් වූ සුවිසල් පුවරුව මා නෙත ගැටුනේ මාගේ පෙම්වතිය ( වර්තාමනයේ මා ප්‍රිය බිරින්දා) බලාපොරොත්තුව මා ලිවර්පූල් නගරයෙහි රස්තියාදු වන අතරතුරය. උදයෙන්ම එන බව කීවත් පැය කිහිපයක් ඇය ප්‍රමාදවන බව පසුව කී නිසා මා හට කාලය ගෙවීමට ක්‍රමයක් නොතිබූ නිසාත් ටයිටැනික් නම නිසාත් මා ලිවර්පූල් කෞතුකාගාරයට ඇතුලුවීමට ප්‍රවේශපත් ගන්නේ කොහෙන්දැයි අසල සිටි සුද්දෙක් ගෙන් විමසුවෙමි.
" ඉතිහාසය යනු අප අප ගැනම ආඩම්බර වන කරුණක් විනා මුදල් උපයන මාර්ගයක් නොවේය"
යනුවෙනුත්
" උබට ඕන තරම් වෙලා ඉදපං අපි මේක වහන්නෙ හවස හයට" යන්නත් උගේ පිලිතුර විය.
"ටයිටැනික්" යනුවෙන් වෙන්කර තිබූ කොටසට ගොස් එහි ඉතිහාසය මෙන්ම එය ලිවර්පූල් නගරයෙහි සාඩම්බර නිපයුමක් බව මෙන්ම නෞකාවෙ තිබී ගොඩගන්නා ලද භාණ්ඩ රාශියක් , කප්පිත්තාගේ ඇදුම් , ලොග් සටහන් මෙන්ම දුප්පත් පොහොසත් භේදය මනාව පසක් කරනා ටයිටැනික් හි පලමු , දෙවන ,සහ තුන්වන පංතිය සහ එහි භාණ්ඩ අවධානය යොමු කරමින් සිටිනා විටදී ඒ අසල ප්‍රක්ශේපණ තිරයක් මත වූ වාර්තා චිත්‍රපටයේ පසුබිම් විස්තරය මා හට ඇසුනේ පහත ආකරයටය.
ටයිටැනික් ලෝහ කොටස් 
"වයිට් ස්ටාර් නාවුක සමාගම ටයිටැනික් හි පලමු සහ දෙවන පංතියේ මගීන් වෙනුවෙන් පිලිවෙල කරතිබූ ආහාර වට්ටොරුව වර්තාමනයේ තරු පංතියේ හෝටලයකට වුවද දෙවනි නොවීය.උදය අහාරය වෙනුවෙන් ...
සියලු කල්හි බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රියතම පානය වූ
දැන්වීමක් 
බ්‍රවුස් "සිලෝන් ටී" ටයිටැනික් වෙනුවෙන්ම ඇනවුම් කර ගෙන්වා තිබුනි.
මා හට ඇති වූ පුදුමය නම් යටත් විජිත යුගයේ අප හට ලෝක වෙලදපොලේ තිබූ පිලිගැනීම සහ නිදහසින් පසු අප පසු පසට ගමන් කර ඇති ආකරයතය. එමෙන්ම එම කෞතුකාගාරයේ "සිලෝන් ටී" වෙනුවෙන් වෙනම කුටියක් ද ඉදිවී තිබුනි. ජර්මානුවන් වෙනුවෙන් ඉදිවී තිබූ කුටිය නඩත්තු කලේ ජර්මානු රජයෙන් වු අතර , පරන තේ පෙට්ටි , පිංතූර කිහිපයක් පමණක් තිබූ ලංකාවෙ කුටිය ලග නැවතී බලා සිටියේ මා පමණකි.
"චීන තේ " යනුවෙන් තිබූ කුටිය අසල සාම්ප්‍රදායික චීන ඇදුමින් සැරසුණු චින්කියන් දෙදෙනෙකු තේ හදා සියලු අයට නොමිලයේ පිලිගන්වයි. නඩත්තුව චීන රජයෙනි.
ලොව සුපිරිම තේ සන්නාමයට සියවසකට වඩා හිමිකම් කියූ අප දූපත්වාසින් , තේ කම්හලෙන් විසිකරනා කසල් තේ හොද තේ කොලවලට කවලම් කර ලොව අපවිතම තේ සපයන්නා වන දිනය ඉතා ලගය.
අපට පසු තේ වෙලදපොලට පිවිසි කෙන්යාව, ආජන්ටිනාව , ඉන්දුනීසියාව අප පසු කර ගව්ගානක් ගොස් හමාරය.
කොටින්ම ලෝකයේ විශාලම තේ සපයන්නා වන චීනයට( වසරකට මෙ.ටොන් මිලියනයක්) සහ ඉන්දියාවට ( වසරකට මෙ.ටොන්. නව ලක්ශයක්) සිලෝන් ටී යන නාමය අභියෝගයක් වුයේ ප්‍රමාණය නිසා නොව ගුණාත්මක බවින් ඉහල නිසාය මන්ද අපගේ වාර්ශික තේ අපනයනය මෙ.ටොන් 295000ක් නිසාවෙනි.
කොමිස්, අනවශ්‍ය දේශපාලන අත පෙවීම මෙන්ම අදූරදර්ශි ප්‍රතිපත්ති අපගේ විනාශය තවත් ඉක්මන් කරනු ඇත.
එමෙන්ම අතීතයේ උපාලි විජයවර්ධන වැනි ව්‍යවසායකයින් සිය ලියර් ජෙට් යානයෙහි නැගී එංගලන්තයට ගොස් , සුප්‍රකට ලන්ඩන් සිටි හෝටලයෙහි ස්ව්කීය ව්‍යපාරික පංතියේ මහලෙහි නතරව කල ව්‍යාපාරික හමුවීම් සහ ආයෝජන අවස්තා සදහා අප වර්තාමනයේ සහභාගි කරනුයේ මේකප් තවරාගත් සෙල්ෆි ක්වීන්ලාය
මේ අයුරින් හෝ ඔලුව උස්සා සිටීම ගැන සතුටුවිය යුතුය.

මතක (1)


වල්පල් පොස්ට් කරලා හිත හොද මිනිස්සු තරහා කරගන්නවට වඩා කාලයක් හිතේ තිබූ අදහසක් මේක. මේ කෙටි ජීවිත කාලෙදී රට රටවල් දුසිම් දෙකකට වඩා සියසින් දකින්නට වාසනාවක් තිබිච්ච නිසාවෙන් ඒ මතක විත්ති මේ විදියට පෙලගස්වනවා.
#වේල්ස් එහෙමත් නැත්නම් මේ ආත්මෙට රජකම හම්බෙන්නෙ නැති චාල්ස් කුමාරයගේ සීට් එක. ඩයනා කුමාරිය මිය යනවිට ඇයව හැදින්වුණු නාමය උනෙත් "ප්‍රින්සස් ඔෆ් වේල්ස්" උතුරු වේල්සය සහ දකුණු වේල්සය යනුවෙන් පරිපාලන කොටස් දෙකකට බෙදුනත් මහා බ්‍රිතාන්‍යය නිර්මාණය වෙන්නෙ එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය යන රටවල එකතුවෙන්.
වෙල්ෂ් බසින් ලියවුනු පුවරුවක් 
තරගයේ විස්තරේ 
වේල්ස් වලට පයගහලා මුල් දවසෙම දැකපු පුදුමාකාර දේ උනේ මාච්වෙල් කියන ක්‍රීඩා සමාජයේ වීදුරු කැබිනට්ටුවක තිබ්බ 1972 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අත්සන් සහිත ක්‍රිකට් පිත්තක්. ඔවුන් බොහොම ආදරයෙන් සුරකින සිහිවටනයක්. හොයලා බලපුවාම වේල්සය සහ ලංකාව අතර 1972 ICC කුසලානයට පවත්තපු නමුත් වර්ශාව නිසා අතහැරලා දාපු තරගය දවසෙ හුවමාරුවුනු සිහිවටනයක්.
මා ජීවත් වු උතුරු වේල්සය තවත් ප්‍රචලිත උනේ යකඩ කර්මාන්තය නිසා සහ ලාගර් (බීර) කර්මාන්තය නිසා. කොටින්ම ලංකාවෙ ඉතුරු වෙලා තියන සුද්දා හදපු යකඩ කෝච්චි පාලම් බොහොමයකම ඉදිකිරීමේ සමාගමේ නාමයට අමතරව " බ්‍රේශාම් අයන් වර්ක්ස්" හෝ "(වෙ)රෙක්සම් අයන් වර්ක්ස්" යන නම් සටහන් වෙලා තිබීම සුලභ කරුනක්.
යකඩ කම්හලක් 
බීර එහෙමත් නැත්නම් ලාගර් ගැන කියද්දි (වෙ)රෙක්සම් ලාගර් තමයි ටයිටැනික් නැවේ මගීන්ට පිලිගන්වල තියෙන්නෙ.
කොටින්ම ටයිටැනික් වල තේ එවකට සිලෝන් එකෙන් යවපු අපි ඊයේ වෙද්දි ජපානයෙනුත් ප්‍රතික්ෂේප උනා තේ වල ගුණාත්මක බව සම්බන්ද ප්‍රශ්නයකදි.. නමුත් කාලයත් එක්ක බංකොලොත් වෙලා තිබුන මේ බීර කම්හල අලු ගසා දාල ඔලුව උස්සද්දි ඔවුන් ගෙ ප්‍රදාන තේමාව උනේ " අපි ටයිටැනික් වලත් සිටියෙමු, ඔබ තවමත් ප්‍රමාද නැත" කියන එක. අද වෙද්දී ලෝකයේ නම දිනාගත් සන්නාමයක් බවට පත්වෙලා. ඒ වගේම (වෙ)රෙක්සම් නගරට බොහො සංචාරකයන් එන්නෙමෙ ටයිටැනික් නැවේ තිබුන brand එකෙන් බීර වීදුරුවක් තොල ගාන්න.
තවත් නගරයේ තියන තානායම තමයි "අශ්වයා සහ අසරුවා" Horse and Jockey තානායම.
අශ්වයා සහ අසරුවා
මහා බ්‍රිතාන්‍යයේ දැනට පවතින මුල් කාලීන නිවාසවලින් එකක්. වසර 350ක් පරණයි කියලයි හිමිකරු කියන්නෙ. පවුලේ ව්‍යපාරයක් විදියට පරම්පරා හයක් හතක් දුර ආ නමුත් හවස හය වෙද්දි හවුස් ෆුල් බෝඩ් එක දොරේ වරදින්නෙම නෑ.භාශාව වෙල්ශ් සහ ඉංග්‍රීසි , සියලු ආලෝක පුවරු පලමුව වෙල්ශ් බසිනි. ඒ නිසාම
අමතකම නොවන සිදුවීමක් උනේ හිම වැටෙන අලුයමක කාඩිෆ් නගරයට යන්න මෝටර් රියට ගොඩ වෙච්චි මායි මගෙ පෙම්වතී ( බිරින්දා ) උදේ නමය වෙද්දි හිටියේ බර්මිංහැම් නගරයේ. ඩී ටුවර් බෝඩ් එකක් පස්සෙ වැරදිලා ගිහිං..... හක්ක පයින වදන් කොහොම කියවන්නද

පසුගිය ලිපි