"ළමායි අද සිකුරාදා ,අනික් දවසේ ඒ කියන්නෙ සදුදා අපි තීරණය කරලා තියනාවා සිගිති පොලක් පවත්වන්න. එක වසරේ සිට පහ වසර දක්වා සියලුම ළමයින් අනිවාර්යයෙන් සහභාගි වෙන්න ඕන, මේ පිලිබඳව වැඩි විස්තර තම තමංගේ පන්තිභාර ගුරුතුමන්ලා කියල දෙයි ,හොදයි දැන් යනවලා කට්ටියම පන්තිවලට පේලියට."
බාලාංශයේ හදිසි රැස්වීම ලොකු මහත්තය අවසන් කලේ එහෙම කියන ගමන්.
පොලක් කිව්වාට ඉරිදා පොලක් වගේ එකක් ඉස්කෝලෙ අහවල් එකකට තියනවද කියල හිත හිතා අපි පංතියට ආව. ටිකකින් ආව පන්තිභාර ගුරුතුමී ,
" හැමෝම තමන්ගේ වත්තේ පිටියෙන් හොයාගන්න පුලුවන් එළවළු ,පලතුරු ජාති ඒ වගේම පලා වර්ග,ඇට වර්ග, තව හොදට පිරිසිදුව හදපු අලුවා, වැලි තලප වගේ ඒවා අරන් එන්න මතක තියා ගන්න මේක ලකුනු හම්බවෙන පැවරුමක්. ඒ නිසා විශේශයෙන් අරන් එන්න ඕන"
කියලා කීවම සමහරු පොතේ ලියාගත්තා.මමයි මගේ අසල්වැසියා වගේම කලණ මිතුරා වෙච්ච අසංකත් රිලව් දෙන්නෙක් වගේ ඔලුව හොල්ල හොල්ල අහන්හිටියා මිසක් කනකට ගත්තේ නැහැ. ඉස්කෝලෙත් ඇරිලා මග දිගට ගස් ගල් වලට පොලු ගහලා වතු පාලු කරලා ගෙදරට ගොඩවෙලා බත් කන්න කියල හැදුවා විතරයි , උණ හැදිලා හිටිය මාස හතරක් වයස නංගිත් වඩාගෙන අම්මා කෑගහගෙන එලියට ආව.උණ වැඩිවෙලා වලිප්පුව එහෙමත් නැත්නම් ෆිට් එක හැදිලා නංගිට.
කිරි අම්මලගෙ ගෙදර මිදුලෙ හිටි චුටි බාප්පා ඉක්මනට දුවගෙන ,ඇවිල්ලා වතුර ජොගුවක් නංගිගෙ ඔලුවෙ ඉදන් හලලා වඩගෙන පාරට දිව්වා. අම්මයි පුන්චි අම්මයිත් ඒ පස්සේන්. නිල් කොට කලිසම පිටින් කමිසෙත් නැතුව මාත් පස්සෙන් දිව්වේ කඳුළු පෙරාගෙන. ගොඩක් වාහන නැති උනත් ආපු වාහන එකක්වත් නතරකලේ නැහැ ,ස්ලෝ කරලා ආපහු යනවා. එකපාරටම මතු වෙච්ච පලාත් සභා මොඩල් එකෙ පැජරෝ එක ක්‍රාස් ගාල නතර කලා. මට ගොඩක් වෙලාවට මැවිලා පේනවා ඒකෙ හිටි පින්වන්ත නෝනගෙයි මහත්තයගේ මූණූ. බිමට බැහැපු නෝනමහත්තය
" කලබල වෙන්න එපා අම්මා නගින්න බබත් එක්ක. අපි යමු හොස්පිටල් එකට"
අම්මත් නග්ගාගෙන පිම්මෙ කහවත්ත දිහාට වාහනේ ඉගිලුනා. තාත්තා උදේ ගියාම හවස හයට ගෙදරට එන්නෙ. ආපසු ගෙදරට දුවපු බාප්පා
"පුතේ අම්මගෙයි නංගිගෙයි රෙදි ටිකක් ගනින් කවරෙක දාලා, බේත් ටිකයි ඕඩිකොලොන් එහෙමත් දාපන්" කියල බයිසිකලෙන් ඉගිලුනා ඉස්පිරිතාලෙට.
හවස ආපු තාත්තත් ආපයින්ම ඉස්පිරිතාලෙට ගියා. දවස් තුන හතරක් අම්මට ඉස්පිරිතාලෙ ඉන්නවෙයි කියලා මහත්තය කිව්වා කියන කතාවමට ඇහුනේ දෙගොඩහරි ජාමෙ තාත්තලා ගෙදර ආපුවම. මූසල විදියට සෙනසුරාදා ගෙවුනා. ඉරිදා වරුවක් ගියාම තමයි මට මතක් උනේ පොලක් තියන කතාව.
විනඩියට මන් හිටියෙ අසංකලගේ ගෙදර කඩුල්ල ලග. ඌටත් මන් කීවට පස්සෙ මතක් උනේ.
දෙන්නත් එක්ක රබර් වත්තේ , කුඹුරු අස්සේ රිංගලා හවස් වෙනකොට අපි ගොටුකොල, මුගුණ, ගස්ලබු, පේර, අලි පේර වගේම කිරි අම්මගෙ කොටුවෙන් දඹල , මයියොක්කා , තලන බටු වගේ ජාති ගොඩක් එකතු කරලා මිටි බැදලා මල්ලකට දාල වතුර ඉහලා තිබ්බෙ පහුවදාට ගෙනියන්න.
සදුදා උදෙන්ම අපේ ලොකු බාප්පගේ කබල් පප්පා බයිසිකලේ බඩු ටික පටවල අපි පයින්ම තල්ලු කරන් ඉස්කොලෙට ආවා. බයිසිකලේ ලොක් කරල හබරල ගාලක් අස්සේ හංගලා ආවේ. අනික් ළමයි පිජාමා රෙද්දෙන් සරන් ඇදලා, මේස් බැනියම ඇදල මුදලාලිලා වගේ. කෙල්ලො රෙද්ද හැට්ට ඇදලා. තද නිල් පාටට නිල් දාපු පැල්ලන් හිටපු කමිසත් , හම්පඩ නිල් කලිසමුත් ඇදලා ස්පත්තු නොදා හිටියේ අපි දෙන්නා විතරමයි. ඒත් අපි තරම් බඩු ගොඩක් එකෙක් ලගවත් තිබුනේ නැහැ.
පොල පටන් ගත්තා , බඩු ටික පිලිවෙලට අහුරල අපි දෙන්න බලං ඉන්නවා. ගුරුවරු පෝලිමේ එනවා, අම්මලා කිහප දෙනෙකුත් හිටියා. අපිට එහහින් හිටියේ ඉස්කෝලෙම ගුරුතුමියකගෙ ගේ පුතෙක් , එතනට ආපු ටීචර්ලා සේර්ම එයාගෙ බඩු සේරම ගත්තේ තරගෙට. රුපියල් පණහක් විතර සාල්ලිත් හම්බුනා.
" පුතා අම්ම්ට කියන්ඩඕන මානෙල් ආන්ටී සේර්ම අරන් සල්ලි දුන්න කියලත් " ඒ ලමයට කිව්වා. අපි දෙන්නට උහුලගන්න බැරී තරම් සන්තෝසයි මොකද එයාගෙ පොඩි බඩු ටිකට එහෙම නම් අපේ ගොඩට රුපියක් සීයක් වත් දෙයිනේ.
අපි ලගට ආපු ගුරුතූමියක් සහ අපේ පන්තිභාර ගුරුතුමී
" තමුසෙලා මේව හොරෙන්ද කඩන් ආවේ? "
" නෑ ටීචර් ගෙදරින් "
" ප්‍රියන්ති මේ ගොටුකොල ටික ගන්න. දඹල ටිකත් ඔයා ගන්න. මම මයියොක්කා ගන්නව මහත්තය ආසයි"
" පංකාදු පලා ටික, අලිපේර ටික ස්ටාෆ් රූම් එකෙ තියමු "
ඒ විදියට අපේ බඩු සේර්ම මලුවලට පුරෝගෙන ඉවර උනාම අපේ පපුව ඩ්ග ඩ්ග ගාල ගැහෙන්න උනා ඇයි සල්ලි දෙනවනෙ දැන්.
"අපි යමු නංගි අනික් අය ලගටත්"
අපි දිහා නොබලාගෙනම එතුමිය සහ යෙහෙලිය යන්න ගියා. මහා මූසල හිස් කමක් එක්ක කියාගන්න බැරී තරම් අසරණ කමක් එක්කම අපි දෙන්නා මූණට මූණ බලාගත්තා.
අසංක ------- උඹ මේ තුප්පහි කුහක සමාජෙ දාල ගිහින් හරියටම අවුරුදු විසි තුනක්. උඹ හරි වාසනාවන්තයි මචං. සුභ ගමන් උඹට
ප ලි.
ගෙදරට ආව අමුත්තෙක්ට දෙන්න තැඹිලි කඩන්න ගහට නැගී අසංක ගහෙන් ලිස්සල වැටිලා මිය පරලොව ගියේ 1998 දී